Saturday, September 26, 2015

ජලයේ ගුණාත්මකභාවය හා පවිත්‍රතාව - හයවන කොටස

ජෛවීය පරාමිතීන්
---     ---      ---
             ජලයේ අඩංගු Coliform බැක්ටීරියා ප්‍රමාණය සලකා බලනු ලබයි.
           Coliform බැක්ටීරියා පසේ හා ශාක වල පවතින අතර උණුසුම් ලේ ඇති සතුන්ගේ බඩවැල් තුළ දක්නට ලැබේ.

Coliform පරීක්ෂා කිරීමේ ක්‍රම

01 - අනුමාපන පරීක්ෂාව
× ලැක්ටෝස් ද්‍රාවණ සහිත පරීක්ෂා නළ ශ්‍රේණියක් යොදාගෙන එයට මනින ලද ජල නියැඳි එකතු කරයි.
× පරීක්ෂා නළ ශ්‍රේණියේ කාණ්ඩ 3ක් ඇති අතර ඒ එක් එක් කාණ්ඩයේ නළ 5ක් හෝ ඊට වඩා වැඩියෙන් තිබිය යුතුය. (නළ ගණන වැඩි නම් පරීක්ෂණයේ නිරවද්‍යතාව වැඩිය.)
× නළ වල වායු ජනනය වන ප්‍රමාණය මැන ගැනීම මගින් Coliform බැක්ටීරියා පවතින බව අනුමාපනය කළ හැක.

02 - තහවුරු පරීක්ෂාව
            වායු ජනනය වීම මඟින් Coliform බැක්ටීරියා පවතින බවට ස්ථීරව ප්‍රකාශ කළ නොහැකිය. එම නිසා එය තහවුරු කිරීම සඳහා EMB - Eosin Methylen Blue ඒගාර් අඩංගු තැටියක් වායු ජනනය කළ නළයේ ජලය ගෙන ආමුකූලනය කරයි.
     × මෙම මාධ්‍ය Coliform බැක්ටීරියා වර්ධනයට හිතකර මාධ්‍යකි.
     × එම ඝනාවාස වල Coliform ඇති බව තහවුරු වීම යනු එම ජලය මළ අපද්‍රව්‍ය වලින් දූෂණය වී ඇති බව තහවුරු කළ හැකිය.

03 - නිමකළ පරීක්ෂාව

පරීක්ෂා කිරීමේ වැදගත්කම
× ජලය මළ අපද්‍රව්‍ය වලින් අපිරිසිදු වී ඇත්දැයි දැනගැනීම සඳහා.
× ජලය බීමට සුදුසු තත්වයේ පවතීදැයි දැනගැනීම සඳහා.




ජලයේ ගුණාත්මකභාවය හා පවිත්‍රතාව - පස්වන කොටස

ප්ජලයේ රසායනික පරාමිතීන්    - ii කොටස
`````````````````´´´´´´´´´´´´´´´´
04 - ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම (BOD - Biological Oxygen Demand)
             ජල ප්‍රභවයක ඇති කාබනික ද්‍රව්‍ය ස්වායු ක්ෂුද්‍ර ජීවීන් මගින් නිශ්චිත උෂ්ණත්වයකදී (20%) , නිෂ්චිත කාලසීමාවක් (දින 5ක්) තුළදී බිඳ දැමීමට අවශ්‍යය වන ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම වේ.

BOD මැනීමේ ක්‍රම
          +බීජෞෂණයට පෙර හා පසු ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය මැනීම මඟින් BOD ගණනය කළ හැකිය.
              ජල නියැදි‍යක් ඔක්සිජන් වලින් සංතෘප්ත කර පළමුව එහි ඇති ඔක්සිජන් සාන්ද්‍රණය මැනගනී. ඉන් පසු එය 20°c  හි දින 5ක් තබා බීජෞෂණය කළ විට ජලයේ ක්ෂුද්‍ර ජීවීන් මඟින් එහි අඩංගු කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරනු ලබයි. ඉන් පසු ඉතිරී වී ඇති ඔක්සිජන් සාන්ද්‍රණය මැනගැනීමෙන් BOD අගය සෙවිය හැක.

BOD මැනීමේ වැදගත්කම
× ජලයේ ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යන විට ක්ෂුද්‍ර ජීවී ගහණයද ඉහළ යයි. එවිට BOD අගයද ඉහළ යයි.
× ජලයේ ඇති නයිට්‍රේට් හා පොස්පේට් ප්‍රමාණයද BOD අගය ඉහළ නැංවීමට දායක වේ.
× BOD අගය වැඩි වන විට ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණයද අඩු වේ.
× BOD අගය දැනගැනීම තුළින් ජල දූෂණයේ තත්වය නිර්ණය කිරීම හා පිරියම් කළ අපජලය ජල ප්‍රභව වලට මුදාහැරීමට සුදුසුද යන්න තීරණය කිරීම සදහා.

05 - කඨිනත්වය (Hardness)
                   ජලයේ අඩංගු Cu හා  Mg ලවණ වල ප්‍රමාණය කඨිනත්වය ලෙස හැදින්වේ.
             ජලයේ Ca^2+, Mg^2+  අයන වැඩි විට කඨිනත්වය ඇති වේ.
        mg/l (ppm)  - ජලය ලීටරයක දියවී ඇති කැල්සියම් හා මැග්නීසියම් කාබනේට් මිලිග්‍රෑම් ගණන වේ.

කඨිනත්වය මැනීම

    [|] අනුමාපන ක්‍රමය
  ජල‍යේ කඨිනත්වය මනින පරීක්ෂා තීරු (Test strips)
          + 0 - 500 ppm දක්වා මෙමඟින් මැනිය හැකිය.
  ජල කඨිනත්ව මානය (Water hardness meter)

කඨිනත්වය මැනීමේ වැදගත්කම
× ජල පවිත්‍රනයට බාධා ඇති කරයි.
× රෙදි මත සබන් හා ක්ෂාලක (Detergent) තැන්පත් කරයි. මෙය රෙදි වලට අදුරු වර්ණයක් හා කහ පැහැයක් ගෙනදේ.
× උණු ජලය ගෙන යන නළ හා ඒ ආශ්‍රිත පද්ධති වල CaCo3 , Mg(OH)2 , CaSO4  ආදිය තැන්පත් කරයි.
× බිංදු ජල සම්පාදන පද්ධති අවහිර කරයි.
× බීමට අප්‍රිය බවක් ඇති කරයි.

06 - විද්‍යුත් සන්නායකතාව (EC)
            ජලයට විද්‍යුත් ධාරාවක් සන්නයනය කිරීමේ හැකියාව විද්‍යුත් සන්නායකතාව වේ.
          ජලයේ විද්‍යුත් සන්නායකතාවයට ජලයේ දියවී ඇති,
       1- අකාබනික ද්‍රාවීය ඝනද්‍රව්‍ය
       2- ඇනායන
       3- කැටායන බලපායි.

         විද්‍යුත් සන්නායකතාව උෂ්ණත්වය මත රඳා පවතී. උෂ්ණත්වය වැඩි වන විට සන්නායකතාව වැඩි වේ.

EC මැනීමේ ක්‍රම

EC මානය (Electrical conductivity meter)

EC මැනීමේ වැදගත්කම
× ජලයේ කොපමණ ද්‍රාව්‍ය ඝන ද්‍රව්‍ය හා අයන තිබේදැයි දැනගැනීම සඳහා
× මළ බැඳීමේ ප්‍රවණතාවය හඳුනාගැනීම සඳහා.
× ජලජ ජීවීන්ට වන බලපෑම් හඳුනාගැනීමට.

Wednesday, September 23, 2015

ජලයේ ගුණාත්මකභාවය හා පවිත්‍රතාව - සිව්වන කොටස

ජලයේ රසායනික පරාමිතීන්    - i කොටස
`````````````````´´´´´´´´´´´´´´´´
01 -  pH අගය
     ජලීය ද්‍රාවණයක ආම්ලිකතාවය හෝ භාෂ්මිකතාවය pH ලෙස හැදින්වේ.
         pH = -log     (H+)
                        10

ජලයේ pH අගය වෙනස් වීමට හේතු
× අම්ල වැසි ඇති වීම.
× විවිධ කර්මාන්ත වලින් නිකුත් කරන අපද්‍රව්‍ය නිසා
× රසායනික පොහොර ජලයට එකතු වීම නිසා
× ගල් අඟුරු, යකඩ වැනි කර්මාන්ත මගින් ජලයට විවිධ අපද්‍රව්‍ය එකතු වීම.

ජලයේ pH අගය මැනීම

•i• pH කඩදාසි
           ලබා ගන්නා ලද ජල නියැදියට pH කඩදාසි  කැබැල්ලක් දමා එහි සිදු වන වර්ණ වෙනස දී ඇති වර්ණ සටහනෙන් දක්වා ඇති වර්ණ සමඟ සැසඳීමෙන් pH අගය ගණනය කළ හැකිය.

•ii• pH මීටරය
            ලබා ගන්නා ලද ජල නියැදිය pH මීටරයේ කෙලවර පිහිටි තුඩ (Probe) වැසීමට තරම් ගැඹුරක් පැවතිය යුතුය. පාඨාංකය pH මීටරයේ දර්ශනය වේ.

°°°°°° ජල‍යේ pH  අගය මැනීමේදී, ජල නියැදිය ලබාගැනීමේදී හා අගය ලබාගැනීමේදී ලබාගත් ජල නියැදිය කැලතීමකට ලක් නොකළ යුතු‍ය. එසේ කැළතීමක් සිදුවුවහොත් pH අගය දෝෂ සහිත විය හැකිය.

pH මැනීමේ වැදගත්කම
×රසායනික සංඝටක වල (NP වැනි පෝෂක, ලෙඩ්, කැඩ්මියම් වැනි බැරලෝහ) ජලයේ ද්‍රාව්‍යතාවය සහ ජීවීන්ට යොදාගත හැකි ප්‍රමාණය තීරණය කිරීම.
× ජලයේ බහුලව පවතින්නේ කුමන ආකා‍රයේ පොස්පරස්ද, එම ආකාරය ජීවීන්ට ලබාගත හැකිද යන්න තීරණය කිරීමට.
× බැරලෝහ වල ද්‍රාව්‍යතාවය හා විෂ බව තීරණය කිරීමට. (අඩු pH අගයන්හිදී බැරලෝහ වල ද්‍රාව්‍යතාව වැඩි වේ.)

        *ඉහළ pH අගයන්හිදී තිත්ත රසක් ලබා දේ.
        *Cl  වල විෂ නාශක හැකියාව අඩාල කරයි. එබැවින් Cl  වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.
        *පහළ pH අගයන්හිදී ලෝහ මළ බැදිම හෝ ලෝහ දිය වීම සිදුවේ.
        *pH  අගය 6.5 - 8.5 පරාසය ජලජ ජීවීන්ට හිතකර වේ.

02 - ද්‍රාවීය ඔක්සිජන්

          යම් ජල ප්‍රභවයක දියවී ඇති හෝ අඩංගු ඔක්සිජන් ප්‍රමාණය ද්‍රාවීය ඔක්සිජන් වේ.
          ජල ප්‍රභව වල පවතින කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීමට ද්‍රාවීය ඔක්සිජන් යොදාගන්නා බැවින් කාබනික ද්‍රව්‍ය අඩංගු ජලයේ ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ.

ද්‍රාවීය ඔක්සිජන් ප්‍රභව
× ජලජ ශාක / ඇල්ගී ප්‍රභාසංස්ලේෂණය මගින් නිපදවන ඔක්සිජන්.
× වායුගෝලීය ඔක්සිජන් දියවීම.
         +ඒකකය mg/l (ppm)
× ජලයේ උෂ්ණත්වය වැඩි වන විට ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. මෙය ජලජ ජීවීන්ට මෙන්ම ජලයේ ගුණාත්මකභාව‍යටද බලපෑම් ඇති කරයි.
× සාමාන්‍යයෙන් ජලයේ DO අගය 5-6ppm පරාසයක පවතී.

ද්‍රාවීය ඔක්සිජන් මැනීමේ ක්‍රම
------------------------
•i• Probe සහිත DO මානය
          ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය ක්ෂේත්‍රයේදීම මැනගත හැක.

•ii• විංක්ලර් ක්‍රමය (winkler method)
         ක්ෂේත්‍රයේදීම  සිදු කරනු ලබයි. මෙහිදී අනුමාපනය කිරිම මඟින් ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය මනිනු ලබයි.

ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය මැනීමේ වැදගත්කම
× ජලයේ ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය 3ppmට අඩු නම් ජලජ ජීවීන් ආතතියට ලක් වේ. 2ppmට අඩු විට ඇතැම් ජීවීන් මරණයට පත්විය හැක. 2-3ppm අතර ඇති විට ආතතියට ලක්වූ සතුන් රෝග වලට භාජනය වේ.
         +ජලාශ වල මත්ස්‍යය වර්ධනය සදහා  4-5ppm ප්‍රමාණයට ද්‍රාවීය ඔක්සිජන් පැවතිය යුතුය.
× ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය වැඩි විට බීමට ගන්නා ජලයේ රසය හොඳ මට්ටමක පවතී.
× ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය ඉහළ විට මළ බැඳීමේ සීඝ්‍රතාවය ඉහළ ‍යයි. එබැවින් කර්මාන්තශාලා වල ජලය ගෙනයන නළ ද්‍රාවීය ඔක්සිජන් පහළ මට්ටමක පවත්වාගත යුතුය.

03 - රසායනික ඔක්සිජන් ඉල්ලුම (COD- Chemical Oxygen Demand)
              ජල ප්‍රභවයක ඇති අපද්‍රව්‍ය රසායනිකව ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය රසායනික ඔක්සිජන් ඉල්ලුම ලෙස හැදින්වේ.

     ජලය 1l ක ඇති කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය mg වලින් ලබා දේ.
     COD වැඩි විට එම ජලය දූෂණය වී පවතී යැයි නිගමනය කළ හැකිය.

COD මැනීමේ ක්‍රම

අනුමාපන ක්‍රමය.
          පැය 2ක කාලයක් තුළදී ආම්ලික තත්වයකදී පොටෑසියම් ඩයික්‍රොමේට් මඟින් වියෝජනය කිරීමට අවශ්‍යය ඔක්සිජන්  ප්‍රමාණය ලබාගැනීම්.

COD මැනීමේ වැදගත්ම……
× අපජලයේ පවතින කාබනික ද්‍රව්‍ය පිළිබඳව තක්සේරුවක් ලබාගැනීම සඳහා.
× COD මැනීමේ ක්‍රමය ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම මැනීමට සාපේක්ෂව සරළ ක්‍රමයක් වන අතර වැඩි වේලාවක් අවශ්‍ය නොවීම.
× බීමට ගන්නා ජලය පිළිබඳ තක්සේරු කිරීමට.

Tuesday, September 22, 2015

ජලයේ ගුණාත්මකභාවය හා පවිත්‍රතාව - තුන්වන කොටස

ජලයේ භෞතික ලක්ෂණ - ii කොටස
-----    -----      -----
03 - ගන්ධය

        පිරිසිදු ජලයට ගන්ධයක් නොමැත. ජලය දූෂණය වීම මගින් (අධික ඇල්ගී වර්ධනය, කාර්මික අපද්‍රව්‍ය එක් වීම, ගෘහස්ථ මළ අපද්‍රව්‍ය එකතු වීම) භූගත ජලයට ලවණ මිශ්‍ර වීම (Fe , Mn) , රොන්මඩ කාබනික ද්‍රව්‍ය එක්වීම මගින්ද ජලයේ ගන්ධය වෙනස් වේ.

ගන්ධය පරීක්ෂා කිරීමේ වැදගත්කම
× ජලය දූෂණය වී ඇත්දැයි හඳුනාගැනීමට.
× ජලය බෙදාහැරීමේ පද්ධතියේ අක්‍රමවත් ක්‍රියාකාරීත්වය හදුනාගැනීමට.

04 - ආවිලතාවය
(Turbidity, බොරතාවය, දෘෂ්‍යතාවය)

          පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා අංශු අධික ප්‍රමාණයක් මඟින් ජලයේ ඇති කරන ලඳ නොපැහදිලි බව ආවිලතාවය ලෙස හැඳින්වේ.
          ජලයට එකතු වන විශාල අංශු ජල පතුලේ තැන්පත් වන අතර කුඩා අංශු අධික කාලයක් ජල‍යේ අවලම්භිතව පවතී. ජලයේ ආවිලතාව ඇති කරනුයේ මෙම අංශු මගිනි. ආවිලතාව මඟින් ජලයේ පැහැදිලි බව මනිනු ලබයි.
          ජලයේ ආවිලතාවයට හේතු වන අවලම්භිත ද්‍රව්‍ය :-
            × පාංශු අංශු (මැටි, රොන්මඩ)
             × ඇල්ගී
             × ප්ලවාංග
             × ක්ෂුද්‍ර ජීවීන්

මෙම අංශු වල ප්‍රමාණය 0.004 - 1mm

ජලයේ ආවිලතාවයට හේතු

× ප්ලවාංග, ඇල්ගේ හා ක්ෂුද්‍ර ජීවී වර්ධනය.
× කෘෂිකාර්මික කැණීම්, ඉදිකිරීම් වැනි පසට හානිවන ක්‍රියා හා ජල අපධාවය
× ඉවුරු ඛාදනය
× අපද්‍රව්‍ය ජලයට මුදාහැරීම.

ආවිලතාවය මැනීමේ උපකරණ හා ක්‍රම

•i• ආවිලතාමානය /මාපකය මඟින් සිදු කරයි.

•ii• සෙචි තැටිය (Sechchi disk)
            විල්, ජලාශ, ඇල දොල , ගංගා, සමුද්‍ර ආදියේ ආවිලතාව සෙවීමට යොදාගනී.
            සෙචි තැටිය ජලය තුළ ගිල්වීමට සලස්වා එය නොපෙනෙන අවස්ථාවේ පාඨාංකය ලබාගනී. ජලය මගින් ආලෝකය විසිරෙන ප්‍රමාණය NTU (Nephelametric Turbidity Units) මගින් මනිමු ලැබේ.
මෙය 0-1000NTU

•iii• පාරදෘෂ්‍යතා නලය (Transparancy Tube)
        නොගැඹුරු ජලයේ ආවිලතාව මනිනු ලබයි. නලයේ පහල ඇති කතිරය නොපෙනෙන තෙක් එයට ජලය එකතු කරනු ළබයි. කතිරය නොපෙන අවස්ථාවේදී උස ගණනය කරනු ලබයි.

ආවිලතාව මැනීමේ වැදගත්කම

× අධික ආවිලතාවය ජලයේ උෂ්ණත්වය ඉහළ නංවයි.
            + අවලම්භිත අංශු මගින් තාපය අවශෝෂණය වීම නිසා උෂ්ණත්වය වැඩි වේ.
             + උෂ්ණත්වය ඉහළ යන විට ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ.

× අධික ආවිලතාවය ආලෝකය විනිවිද යාම අඩු කරයි.
           + එය ජලාශ වල ජලජ ශාක වල ප්‍රභාසංස්ලේෂණ සීඝ්‍රතාව අඩු කරයි. එම නිසා ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය අඩු කරයි.

× අවලම්භිත අංශු මසුන්ගේ කරමල් අවහිර කරයි.
           + මසුන්ගේ රෝග සඳහා වූ ප්‍රතිරෝධය අඩු කරයි.
            + බිත්තර සහ පැටවුන්ගේ වර්ධනය බාල කරයි.

× අවලම්භිත අංශු ජලාශ පතුලේ තැන්පත් වීම නිසා ජලාශ පතුලේ බිත්තර දමන මසුන්ගේ බිත්තර, අංශු වලින් වැසී ගොස් හානි සිදුවිය හැකිය.

× යම් ප්‍රදේශයක ගොඩනැගිලි ඉදිකිරීම්, කෘෂිකාර්මික කටයුතු, වනාන්තර එළිකිරීම් වැනි ක්‍රියා සමඟ සිදුවන අපධාවය පිළිබඳ දර්ශකයක් ලෙස ක්‍රියා කිරීම.

× බීමට ගන්නා ජලයේ ආවිලතාව‍ය වැඩි නම් උදරාබාධ ඇතිවීමේ අවධානම වැඩිය. (විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ගේ)

× ජල පවිත්‍රනයේදී ක්ලෝරීන් හා ජාරජම්බුල කිරණ මගින් කෙරෙන විෂබීජ නාශන ක්‍රියාවලියට අවලම්බිත අංශු බලපෑම් ඇති කරයි.

තැන්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය සෙවීම
(TSS - Total Suspended Solid)

          පෙරහනක් තුළින් පෙරී නොයන ජලයේ අවලම්භිත අංශු සියල්ල ඝන ද්‍රව්‍ය ප්‍රමාණය වේ.
          ජල නියැදියක් පෙරහන් කඩදාසි මඟින් පෙරීමෙන් පසු එය වියලීම මගින් අවලම්භිත අංශු ප්‍රමාණය සෙවිය හැක.

තැන්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය මනින ආකාරය

•i• වියළි බර මැනීමෙන් TSS සෙවීම.

× පෙරහන් කඩදාසියක් හැකි පමණ නිවැරදිව කිරා ගැනීම. (A)
× එය තුළින් දන්නා ජල පරිමාවක් පෙරා ගැනීම.
× ඉන් පසු පෙරහන් කඩදාසිය වියළි උඳුනක් මගින් වියලා ගැනීම. (103°c - 105°c)
× වියළා ගත් අවලම්භිත අංශු අඩංගු පෙරහන් කඩදාසිය නිවැරදිව කි‍රා ගැනීම. (B)
            + ඩෙසිකේටරයක තබා සිසිල් කර නියත බරක් ලැබෙන තෙක් තැබීම.
× පාඨාංක දෙක අතර වෙනස  තැන්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය වේ.
    _______________________________
                        (B-A)
          TSS = ------------------ × 1000
                       ජල පරිමාව
    _______________________________

තැන්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය  ppm (ජලය ලීටරයක ඇති ඝන ද්‍රව්‍ය ප්‍රමාණය  මිලිග්‍රෑම් ලෙස) ප්‍රකාශ කරයි.

•ii• TSS මාපකය
       මෙමගින් සාන්ද්‍රණය 0.001-400mg/l දක්වා මැනිය හැක.

TSS මැනීමේ වැදගත්කම
× තැන්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වන විට ජලජ ජීවීන්ගේ විවිධත්වය අඩු වේ.
× අධිකව තැන්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය ජලයේ උෂ්ණත්වය ඉහළ නංවයි.
× ජලය හරහා ආලෝකය විනිවිද යාම අඩු කරයි
× අවලම්භිත අංශු මගින් මත්ස්‍යය කරමල් අවහිර කරයි.
× අවලම්භිත අංශු ජලාශ පතුලේ තැන්පත් වීම මගින් මත්ස්‍යය බිත්ත‍ර හා ජලාශ පතුලේ ජීවත් වන ජීවීන්ට බාධා ඇති කරයි.

Sunday, September 20, 2015

ජලයේ ගුණාත්මකභාවය හා පවිත්‍රතාව - දෙවන කොටස

ජලයේ භෞතික ලක්ෂණ - i කොටස
-----    -----      -----
01 - උෂ්ණත්වය
ජලයේ උණුසුම හා සිසිල් බව මෙහිදී සලකා බැලේ.

ජලයට උෂ්ණත්වය ලැබෙන ආකාර
× සූර්ය්‍යාගේ විකිරණ ශක්තිය
× අවට පරිසරයේ සිදු වන බලපෑම්

ජලයේ උෂ්ණත්වය කෙරෙහි බලපාන සාධක
× ජලාශයේ විශාලත්වය සහ පරිමාව
× වර්ණය
× ජලාශ ආවරණය
× තාප දූෂණය

උෂ්ණත්වය මැනීමේ උපකරණ
× රසදිය හෝ මද්‍යසාර උෂ්ණත්වය
× ලෝහ මුහුණත් උෂ්ණත්වමානය - All metal dial thermometer
× ජල ප්‍රතිරෝධී ත'මිස්ටර් උෂ්ණත්වමානය - Water resistant thermister thermometer

උෂ්ණත්වය මැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු
පරිසර උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට වඩා සැලකියයුතු ලෙස වෙනස් විට හෝ අධික සුලං ඇති විට හෝ උෂ්ණත්වමානය ජලයෙන් පිටතට ගත් විට ඉතා ඉක්මනින් වෙනස්වීමකට ලක් වේ. එබැවින් උෂ්ණත්වමානය ජලය තුල ඇති විට පාඨාංක ලබාගත යුතු වේ.

උෂ්ණත්වය ජලයේ දිය වී ඇති වායු ප්‍රමාණය නිර්ණය කරයි. එනම් උෂ්ණත්වය වැඩි ජලයේ රඳවාගත හැකි ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය (mg/l) අඩුය. මෙය ජලජ ජීවීන්ට බලපායි.

ලවණ බොහොමයක ද්‍රාවයතාව උෂ්ණත්වය සමඟ වැඩි වේ. එම නිසා උෂ්ණත්වය සමඟ විචලනයක් සිදු වේ.
          පිරිසිදු ජලයේදී,
            0°c  - pH 7.47
           25°c - pH 7
         100°c - pH 6.14

උෂ්ණත්වය සමඟ ජලයේ ඝනත්වයද වෙනස් වේ.

ජලයේ උෂ්ණත්වය මැනීමේ වැදගත්කම
× ජීවී ක්‍රියාකාරීත්වයට , පරිවෘත්තීය ක්‍රියා සඳහා
× ජල ප්‍රභවයක ජීවත් විය හැකි ජීවීන් නිර්ණය කිරීම සඳහා (මාළු වර්ග, කුඩා කෘමි හා ජලජ පැළෑටි වර්ග)
           + යම් උෂ්ණත්ව පරාසයක මෙම ජීවීන්‍ට ජීවත් විය හැකි අතර මෙම පරාසයට වඩා උෂ්ණත්වය වෙනස් වන විට ජීවී ගහණය අඩු වේ.
× ජලයේ රසායනික තත්වය නිර්ණය කිරීමට
           + ජලයේ උෂ්ණත්වය වැඩි වන විට රසායනික ප්‍රතික්‍රියාවල සීඝ්‍රතාවය වැඩි වේ.
× ජලයේ දියවී ඇති වායු ප්‍රමාණය නිර්ණය කිරීමට.
           + උෂ්ණත්වය වැඩි ජලයේ රඳවාගත හැකි ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුය.
× ඇතැම් සංයෝග වල විෂ බව වැඩි වේ.
          + උෂ්ණත්වය  වැඩි වීම සමඟ ඇතැම් සංයෝග වල ද්‍රාව්‍යතාව වැඩි වී විෂ බව වැඩි වේ.

ජලයේ උෂ්ණත්වය වෙනස් වීමේ බලපෑම
× මසුන් බොහොමයක් 10°c ක උෂ්ණත්වය වැඩි වීම මගින් පරිවෘත්තීය කියා වල සීඝ්‍රතාව දෙගුණයක් කරයි. (ශ්වසනය,ජීර්ණය) එබැවින් ඔක්සිජන් අවශ්‍යතාවය වැඩිය.
× ජලජ ජීවීන්ගේ හැසිරීම් රටා වෙනස් වේ.
         + උෂ්ණත්වය 35°c ට වඩා වැඩි වීමෙන් එන්සයිම බිඳ වැටීම හා ක්‍රියාකාරීත්වය අඩු වේ. ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියා වල අඩුවීමක් පෙන්නුම් කරයි.
× ජලාශ වල ජීවත් වන ජලජ ජීවීන්ගේ රෝග ව්‍යාප්තිය ඉක්මන් කරයි.

02 - ව‍ර්ණය

අවලම්භිත අංශුමය හා දියවූ ද්‍රව්‍ය වර්ණයට බලපායි. (ඛනිජ වර්ග, පස්, කාබනික ද්‍රව්‍ය)

• ජලයේ වර්ණය වෙනස් වීම HU (Hazen Unites) වලින් මනිනු ලබයි.

ජලයේ වර්ණය ප්‍රකාශ කළ හැකි ක්‍රම
අවලම්භිත අංශුමය හා දියවූ ද්‍රව්‍ය යන කොටස් දෙක මගින් ජලයේ ඇති කරන වර්ණය මිනිස් ඇසට පෙනෙන ආකාරය...

ජලයේ වර්ණය එහි භෞතික, රසායනික හා ජෛවීය තත්ව

කොළ - ඇල්ගී වර්ග
නිල්    - තඹ දියවූ වර්ණ
රතු     - මළකඩ එක් වීම, සමහර බැක්ටීරියා
කළු    - සල්ෆර් ඔක්සිකරණ බැක්ටීරියා මඟින්

ජලයේ වර්ණය පරීක්ෂා කිරීම.

i - දෘෂ්‍යමාන වර්ණය
               අවලම්භිත ද්‍රව්‍ය හා ජලයේ දියවී ඇති ද්‍රව්‍ය අනුව වෙනස් වේ. ජලයේ ගැඹුර, ජල ප්‍රභවය වටා ඇති වෘක්ෂලතා ආදිය, ජලජ ශාක, ජල ප්‍රභවය පතුලේ වර්ණය අනුව වෙනස් වේ.
Fortule වර්ණ පරිමාණය යොදාගනී
               මෙහි ජලයේ වර්ණය, වර්ණ 22කට බෙදා ඇත. ජලයේ වර්ණය වර්ණ පරිමාණය අනුව සැසඳීමෙන්  වර්ණය හඳුනාගත හැක. මෙය Sechchi Disk උපකරණය යොදාගෙන පරික්ෂා කරනු ලැබේ.

ii - සත්‍ය වර්ණය
         × වර්ණාවලි දීප්තමානය
         × Platinum cobalt වර්ණ පරිමාණය භාවිතා කරනු ලැබේ.

ජලයේ වර්ණය පරීක්ෂා කිරීමේ වැදගත්කම
× අවර්ණ ජලය පරිභෝජනයට සුදුසු වේදැයි පරීක්ෂා කිරීමට
× ව‍ර්ණවත් ජලය මිනිසාට, ජලජ පරිසරයට අහිතකර බලපෑම් ඇති කරන බැවින්
× ජලය දූෂණය වී ඇත්දැයි දැනගැනීම සඳහා
× කාර්මික බොයිලේරු හා ආම්පන්න වල ක්‍රියාකාරීත්ව‍යට බලපෑම් ඇති කරයි.
× සූර්ය්‍යාලෝකය ජලය තුලට ගමන් කිරීම අඩු කරයි. එවිට ජලජ ශාක වර්ධනය අඩාල වේ. ජලජ පරිසරයට බලපෑම් ඇති කරයි.

ජලයේ ගුණාත්මකභාවය හා පවිත්‍රතාව - පළමු කොටස

       ජල‍ය යනු මූලික මිනිස් අවශ්‍යතාවයකි. පෘථිවි පෘෂ්ඨයෙන් 70%ක් පමණ ජලය අඩංගු වේ. නමුත් එම ජල ප්‍රමාණයෙන් මිනිසාට ප්‍රයෝජනයට ගත හැක්කේ 0.003ක ප්‍රමාණයකි එනම් ජලය යනු අරපි‍රිමැස්මෙන් ප්‍රයෝජනයට ගත යුතු සම්පතකි.එමෙන්ම ජීවී පදාර්ථයේ බහුලම අකාබනික සංයෝගය වන්නේද ජලයයි. ජීවීන්ගේ දේහ බරින් 50%කට වැඩි ප්‍රමාණයක් පවතින්නේ ජලයයි.
     ජලය යනු රසයක්, ගන්ධයක් නැති අව‍ර්ණ ද්‍රාවණයකි.

ජලය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යය සංයෝගයක් වීමට හේතු
• හොද ද්‍රාවකයක් වීම.
විශිෂ්ට තාප ධාරිතාවය අධික වීම.
        +ජලය ඒකක පරිමාවක උෂ්ණත්වය 1°c කින් ඉහළ නැවීමට අවශ්‍යය තාප ප්‍රමාණය වැඩි වීම.
• වාෂ්පීක‍රණයේ ගුප්තතාව ඉහළ වීම.
ආලෝකයට පාරදෘශ්‍ය වීම.
• සංසක්ති ආසක්ති බල වැඩි වීම.
• හොඳ විද්‍යුත් විච්ඡේද්‍යයක්  වීම.

ජලයේ ගුණාත්මකභාවය පහත සඳහන් කරුණු 3 ‍යටතේ විස්තර කළ හැකිය.
        1- භෞතික ලක්ෂණ
         2- රසායනික ලක්ෂණ
         3- ජෛවීය ලක්ෂණ

ජලයේ ගුණාත්මකභාවය ප්‍රකාශ කිරීම සඳහා විවිධ පරාමිතීන් වල අවශ්‍යතාව.
× බීමට ගන්නා ජලය
   + වර්ණය,ගන්ධය,බොරතාවය,බැක්ටීරියා වැනි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් පරීක්ෂා කිරීම
× ජල සම්පාදනය
    + pH අගය, තැන්පත් වන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය, විද්‍යුත් සන්නායකතාව, බැරලෝහ
× ජලජ ජීවීන්ගේ පැවැත්මට
    + ද්‍රාවීය ඔක්සිජන් ප්‍රමාණය, බොරතාවය, උෂ්ණත්වය, ලවණතාව
×  විනෝද ක්‍රීඩා සහ ජල ක්‍රීඩා
    + වර්ණය, ගන්ධය, බොරතාවය, බැක්ටීරියා වැනි අහිතකර ක්ෂුද්‍ර  ජීවීන්

ජල‍යේ ගුණාත්මකභාවය මනින අවස්ථා
•පරිසරයට ඇති වන හානි අවම කරගැනීම සඳහා සහ පාරිසරික ජල ගුණාත්මකතාවය රැකීමට
•මිනිසාගේ ප්‍රයෝජනයට ගැනීමට අවශය වූ විට හා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට
•බීමට ගන්නා ජලයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට
•කාර්මික හා ගෘහස්ථ භාවිතයට ගැනීමට
•කෘෂිකර්මාන්තය සඳහා ජලය සුදුසු බව නිර්ණය කිරීමට
•කර්මාන්තශාලා වලින් පරිසරයට ජලය මුදාහරින විට

ජලයේ ගුණාත්මකභාව‍ය ප්‍රකාශ කිරීමේදී යොදාගන්නා පරාමිතීන්
×භෞතික පරාමිතීන්
    + වර්ණය, ගන්ධය, ආවිලතාව, ඝන ද්‍රව්‍ය ප්‍රමාණය, උෂ්ණත්වය
×රසායනික පරාමිතීන්
    + ද්‍රාව්‍ය ඔක්සිජන් ප්‍රමාණය, විද්‍යුත් සන්නායකතාව, ජෛවීය ඔක්සිජන් ඉල්ලුම, රසායනික ඔක්සිජන් ඉල්ලුම, pH අගය, කඨිනත්වය
×ජෛවීය පරාමිතීන්
    + Coloform ප්‍රමාණය, E - coli ප්‍රමාණය